වෙබ් ලිපිනය:

Wednesday, April 17, 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඩොලරයේ මිල


අපි ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම දැනට නැවතී තිබෙන තැනට නැවත එමු. මෙහි බැඳුම්කරහිමියන් විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධිත යෝජනාවක් තිබෙනවා. ශ්‍රී ලංකා රජය එම යෝජනාවට කැමති වුවහොත් වැඩේ එතැනින්ම අහවරයි. 

ලංකාවට මීට වඩා වාසිදායක යෝජනාවකට මිසක් අවාසිදායක යෝජනාවකට ශ්‍රී ලංකා රජය කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඒ නිසා, දැනට පවතින තත්ත්වය ලංකාවේ පැත්තෙන් බැලූ විට, පැවතිය හැකි නරකම තත්ත්වය ලෙස සලකන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත්, අවම වශයෙන් මෙම අප්‍රේල් යෝජනාවෙන් ලංකාවට ලැබෙන වාසි ටික ලංකාවට අනිවාර්යයෙන්ම ලැබෙනවා.

ඒ වගේම, බැඳුම්කරහිමියන් විසින් ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා රජයේ යෝජනාව, බැඳුම්කරහිමියන්ගේ මාර්තු යෝජනාව හා ඔවුන්ගේ මෙම අප්‍රේල් යෝජනාව අතර පොදු කරුණු ගණනාවක් තිබෙනවා. දැනටමත් දෙපාර්ශ්වය එකඟ වී තිබෙන මෙම පොදු කරුණු ඉදිරියේදී වෙනස් වීමට ඉඩක් නැහැ. 

ඔය කොයි යෝජනාව අනුව වුනත්, 2028 වසර වන තුරු ලංකාව ණය ගෙවන්න පටන් ගන්නේ නැහැ. දැනට ගෙවා නැති පොලී කොටස වුවද ගෙවන්නේ කොටස් වශයෙනුයි. යෝජනා වෙනස් වන්නේ එයින් පසුව කාලය හා අදාළවයි. ඒ අනුව, මෙම අප්‍රේල් යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ලංකාවට පොලී ගෙවීම සඳහා කොපමණ අමතර මුදලක් අවශ්‍ය වෙනවාද?

පසුගිය වසර අවසන් වන විට ගෙවා නොතිබුණු කූපන් පොලී ප්‍රමාණය ඩොලර් මිලියන 1,678ක්. මෙම මුදල ආපසු ගෙවන්නට යෝජනා වී තිබෙන්නේ පහත පරිදියි.

2024 - ඩොලර් මිලියන 336

2025 - ඩොලර් මිලියන 336

2026 - ඩොලර් මිලියන 336

2027 - ඩොලර් මිලියන 336

2028 - ඩොලර් මිලියන 336

ඉන් පසුව, 2029-2038 අතර කාලය තුළ ණය ආපසු ගෙවිය යුතුයි. ඩොලර් මිලියන 12,550ක් වන මුළු ණය ප්‍රමාණයෙන් 28%ක් කපා හැරෙන අතර ආපසු ගෙවන්නේ ඩොලර් මිලියන 9,036ක් පමණයි. ඒ පහත දැක්වෙන පරිදියි.

2029 - ඩොලර් මිලියන 650

2030 - ඩොලර් මිලියන 650

2031 - ඩොලර් මිලියන 900

2032 - ඩොලර් මිලියන 900

2033 - ඩොලර් මිලියන 900

2034 - ඩොලර් මිලියන 800

2035 - ඩොලර් මිලියන 800

2036 - ඩොලර් මිලියන 1250

2037 - ඩොලර් මිලියන 1093

2038 - ඩොලර් මිලියන 1093

කෙසේ වුවද, මෙම 28% ණය කප්පාදුව සිදු වන්නේ IMF එක විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි 2025-2027 කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 84.2 මට්ටමේ පැවතුනොත් පමණයි. දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඊට වඩා වැඩි වුවහොත් කප්පාදු කෙරෙන ප්‍රමාණය 7.3% දක්වා ක්‍රමයෙන් අඩු වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඉලක්ක අගයට වඩා අඩු වුවහොත් කප්පාදු කෙරෙන ප්‍රමාණය 54.7% දක්වා ක්‍රමයෙන් වැඩි වෙනවා. 

මෙම අවසන් කොටස පිළිබඳව තවමත් එකඟතාවයක් ඇති කරගෙන නැති නිසා ඒ ගැන කතා කතා කරන එක අපි පසුවට තබමු. නමුත්, එක දෙයක් දැනටමත් තීරණය වී අවසන්. ඒ, 2029 වසර දක්වා ණය ආපසු ගෙවීමක් සිදු නොකෙරෙන බවයි.

කෙසේ වුවත්, ඉහත සඳහන් ඩොලර් මිලියන 9,036ක ණය මුදල වෙනුවෙන් මෙන්ම හිඟ කූපන් පොලී ගෙවා අවසන් කරන තුරු ඒ වෙනුවෙන්ද වාර්ෂිකව ආසන්න වශයෙන් 4%ක පමණ පොලියක් ගෙවන්නට සිදු වෙනවා. එම මුදල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 400ක් පමණ. 2024 වසර සැලකුවහොත් ඩොලර් මිලියන 428ක පමණ මුදලක්. මෙම මුදලට ඉහත සඳහන් ඩොලර් මිලියන 336ක හිඟ කූපන් පොලී මුදල එකතු කළ විට මෙම වසර තුළ පොලී ගෙවීම සඳහා අමතර ඩොලර් මිලියන 764ක මුදලක් අවශ්‍ය වෙනවා. 2028 දක්වා ඉදිරි වසර වලදීද මීට ආසන්න මුදලක් අවශ්‍ය වෙනවා.

මීට අමතරව ඩොලර් මිලියන 10,810ක ද්විපාර්ශ්වීය ණය ඉතා ඉක්මණින් ප්‍රතිව්‍යුහගත කර අවසන් කෙරෙනු ඇති අතර දැනට තිබෙන තොරතුරු අනුව මෙම ණය ආපසු ගෙවන තුරු වාර්ෂිකව 2%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. ඒ සඳහා වසරකට ඩොලර් මිලියන 216ක් අවශ්‍ය වෙනවා. චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගෙන තිබෙන ඩොලර් මිලියන 2,191ක මුදල වෙනුවෙන් 4%ක වාර්ෂික පොලියක් ගෙවන්නට සිදු විය හැකි අතර එසේ වුවහොත් ඒ සඳහා තවත් ඩොලර් මිලියන 88ක් පමණ අවශ්‍ය වෙනවා.

මේ සියල්ල එකතු කළ විට, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වූ විට, ණය ගෙවීම අරඹන්නට පෙර කාලය තුළ, වාර්ෂික පොලී ගෙවීම් ලෙස ඩොලර් මිලියන 1,068ක පමණ අමතර විදේශ විණිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ආසන්න වශයෙන් මාසයකට ඩොලර් මිලියන 100කට කිට්ටුයි. 

මීට අමතරව මහ බැංකුවට සංචිත ගොඩ නගා ගැනීමේ ඉලක්කයක්ද තිබෙනවා. එහෙත්, වාහන ආනයන සිදු නොකරන්නේනම්, ඉහත පොලී වියදම් වලින් පසුවද දැනට පවතින තුලනය පවත්වා ගැනීම අසීරු නැහැ. නමුත් කලින් මෙන් විවෘත ලෙස වාහන ආනයනයට ඉඩ දිය හැකි තත්ත්වයක් තවමත් නැහැ. යම් තරමක විවෘත කිරීමක් සඳහා අවකාශ තිබෙනවා. 

කෙසේ වුවද, විණිමය වෙළඳපොළ හා අදාළව මතුවන තාවකාලික අමතර ප්‍රශ්නයක් තිබෙනවා. 

ඩොලර් මිලියන 12,550ක ස්වෛරිත්ව බැඳුම්කර වලින් ඩොලර් මිලියන 1,750ක පමණ ප්‍රමාණයක ආයෝජනය කර තිබෙන්නේ ශ්‍රී ලාංකිකයින් විසිනුයි. බොහෝ දුරට මේ ආයෝජන කර තිබෙන්නේ බැංකු විසින්. දැන් තිබෙන තත්ත්වය තුළ, 2029 වසර දක්වා ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙනාවක් මෙන්ම එසේ ලැබෙන්නේද ලැබිය යුතුව තිබුණු මුදලින් 72%ක් පමණයි. ඒ කියන්නේ ඔවුන්ට ඩොලර් මිලියන 500ක පමණ පාඩුවක් සිදු වෙනවා. ඊට අමතරව ඩොලර් ද්‍රවශීලතා ප්‍රශ්නයකටද මුහුණ දෙන්නට වෙනවා.

මෙම තත්ත්වය තුළ බැංකු විසින් ඉදිරි මාසයක හෝ දෙකක පමණ කාලය තුළ තමන්ගේ විදේශ සංචිත ගොඩ නගා ගැනීම සඳහා ඩොලර් එකතු කරන්නට ඉඩ තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ නැවතත් ඩොලරයක මිල මත පීඩනයක් ඇති වීමයි. කෙසේ වුවද මෙය තාවකාලික තත්ත්වයක් වන අතර බැංකු විසින් ප්‍රමාණවත් විදේශ සංචිත එකතු කර ගැනීමෙන් පසුව ඩොලරයක මිල නැවතත් ස්ථාවර වීමට නියමිතයි.  

Tuesday, April 16, 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවතිලාද?

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු සමඟ පසුගිය සති තුනක පමණ කාලයක් තිස්සේ පවත්වා ඇති රහසිගත සාකච්ඡා අවසන් එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. එම සාකච්ඡා මෙසේ අවසන් වී ඇත්තේ නැවත සාකච්ඡා ආරම්භ කරන දිනයක් පිළිබඳව එකඟතාවයක් නැතිවයි. ඒ අනුව, මෙම කටයුත්ත ඉක්මණින් අවසන් වීමේ ඉඩක් මේ මොහොතේ පෙනෙන්නට නැහැ. 

මේ තත්ත්වය සාකච්ඡා බිඳ වැටීමක් සේ සැලකිය නොහැකි වුවත් ණයහිමියන් විසින් ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටීමක් සේ හඳුනා ගත හැකියි. ඒ අනුව, ශ්‍රී ලංකා රජයට මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා තව දුරටත් නම්‍යශීලී වීමට සිදු වෙනවා. මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින්, පසුගිය සති තුනකට වැඩි කාලය තුළ එක දිගටම පහළ ගිය ඩොලරයක මිල එහි ප්‍රවණතාව වෙනස් කර තිබෙන නමුත් කරුණු විමසා බලන විට ඒ තරම්ම කලබල වෙන්නට තරම් හේතු පෙනෙන්නේ නැහැ. 

ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණය කළමනාකරුවන් සේ කටයුතු කිරීම සඳහා කැමැත්තක් දක්වන අයට ඒ සඳහා අයදුම් කිරීමට පසුගිය අප්‍රේල් 10 දින දක්වා කාලය ලබා දී තිබුණා. ඔවුන්ගේ විමසීම් වලට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශ කර තිබුනේ ඔවුන්ට පත් වීම් ලැබුණු වහාම "වැඩ පටන් ගන්නට" සිදු වනු ඇති බවයි. මේ අනුව පෙනී යන්නේ පැවති සාකච්ඡා සාර්ථක ලෙස අවසන් වනු ඇති බව ශ්‍රී ලංකා රජය විසින් විශ්වාස කළ බවයි. 

පසුගිය සති කිහිපය තුළ රහසිගතව සිදු වූ සාකච්ඡා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. එයින් පෙනී යන්නේ එම සාකච්ඡා ඉලක්ක කළ කාල රාමුව තුළ සාර්ථක ලෙස අවසන් නොවීම නිසා ඇති වූ ඉච්ඡා භංගත්වය විය හැකිවාක් මෙන්ම මෙම ක්‍රියාවලියේ අවසානය කිට්ටුවටම දැනටමත් පැමිණ අවසන් නිසා තවත් හංගන්නට දෙයක් නොමැති වීමද විය හැකියි. 

සාකච්ඡා වල ප්‍රගතිය ඇණහිට ඇති බවක් මතුපිටින් පෙනුණත්, ණයහිමියන් සමඟ මේ වන විට සෑහෙන මට්ටමක එකඟතාවයක් ඇති කර ගෙන තිබෙන බැවින් මෙම ක්‍රියාවලියේ අනාගතය පිළිබඳව ඕනෑවට වඩා කනස්සළු විය යුතු නැහැ. එමෙන්ම, ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ සිදු කෙරෙන සාකච්ඡාද මේ වන විට අවසන් අදියර ආසන්නයට පැමිණ තිබෙනවා.

මෙම සාකච්ඡා පැවතුණේ ප්‍රධාන ණයහිමියන් දහ දෙනෙකුගේ කමිටුවක සාමාජිකයින් නව දෙනෙකු සමඟයි. ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය වලින් 50%කට වැඩි ප්‍රමාණයක අයිතිය තිබෙන්නේ මෙම දහ දෙනා සතුව බැවින් සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඔවුන්ගේ එකඟතාවය ලබා ගැනීම ඉතාම වැදගත්. ඔවුන් අතරින්ද එක් අයෙකු සාකච්ඡා සඳහා කැමැත්ත පළ කර නොමැති බව පෙනී යනවා. 

මෙහිදී සිදුව ඇති දේ පහත පරිදි සාරාංශගත කළ හැකියි. 

- 2024 මාර්තු 27 හා 28 දින වල පැවති සාකච්ඡා වලට පෙර ණයහිමියන් (ඉහත ණයහිමියන් නව දෙනා) විසින් 2024 මාර්තු 11 දින ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබෙනවා.

- ශ්‍රී ලංකාව විසින්ද 2024 මාර්තු 25 දින තමන්ගේ යෝජනා ණයහිමියන් වෙත ලබා දී ඇති අතර ණයහිමියන් විසින් එම යෝජනා එක හෙළාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

- මේ අනුව, සාකච්ඡා පාදක කර ගෙන තිබෙන්නේ ණයහිමියන් විසින් ඉදිරිපත් කළ යෝජනා මතයි. 

ඉහත තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ යෝජනා (මේ වන විට ප්‍රසිද්ධ කර ඇතත්) පිළිබඳව විස්තර කතා කිරීමේ තේරුමක් නැති නිසා ණයහිමියන්ගේ මාර්තු යෝජනා සාරාංශගත කළහොත් එම යෝජනා වල මූලික කරුණු මෙසේයි.

- මුහුණත අගයෙන් 20%ක් කප්පාදු කෙරෙන අතර හිඟ පොලී කප්පාදු කිරීමක් කෙරෙන්නේ නැහැ.

- හිඟ පොලී බැඳුම්කර වලට පරිවර්තනය කර 2024-2028 අතර ගෙවා අවසන් කෙරෙන අතර එම කාලය තුළ 4%ක කූපන් පොලියක් ගෙවිය යුතුයි.

- මුහුණත අගය ආපසු ගෙවිය යුත්තේ 2029-2040 කාලය තුළයි. මෙම ණය වෙනුවෙන් 7.00%-8.25% අතර ක්‍රමයෙන් වැඩි වන වාර්ෂික කූපන් පොලියක් ගෙවිය යුතුයි. 2027 දක්වා එසේ ගෙවිය යුතු පොලියෙන් 3%ක් මුදලින් ආපසු ගෙවිය යුතු නැහැ. එම පොලිය පසුව ආපසු ගෙවිය හැකියි. එම කාලය තුළ මුදලින් ගෙවිය යුතු පොලිය 4.00%-4.50%ට සීමා වෙනවා. 

මෙම ඉල්ලීම ලංකාවේ පැත්තෙන් අසාධාරණ බව බැලු බැල්මටම කෙනෙකුට කියන්නට පුළුවන්. නමුත්, ණයහිමියන්ගේ තර්කය වන්නේ ඉදිරි වසර වලදී ලංකාවේ ආර්ථිකය IMF පුරෝකථන ඉලක්ක ඉක්මවා වර්ධනය වනු ඇති බවයි. ඔවුන් ඉහත ගෙවීම් ඉල්ලා සිටින්නේ ණය ආපසු ගෙවිය හැකි පරිදි රටේ ආර්ථිකය වර්ධනය වුවහොත් පමණයි. එසේ නොවුවහොත්, ලබා ගන්නා පොලී අනුපාතික අඩු වන අතර මුහුණත අගයද තව දුරටත් කප්පාදු කෙරෙනවා.

දළ දේශීය නිෂ්පාදිතය (2025-2027 සාමාන්‍ය අගය) අනුව ආපසු ගෙවිය යුතු මුහුණත අගය අඩු වෙන්නේ පහත ආකාරයටයි.

ඇමරිකන් ඩොලර් බිලියන 86.3ට වැඩිනම් - 20%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 84.2- 86.3 අතරනම් - 20%කට අමතරව තවත් 11%ක කප්පාදුවක්. 

ඇමරිකන් ඩොලර් බිලියන 80.5 - 84.2 අතරනම් - 20%කට අමතරව තවත් 19%ක කප්පාදුවක්. 

ඇමරිකන් ඩොලර් බිලියන 80.5ට අඩුනම් - 20%කට අමතරව තවත් 36%ක කප්පාදුවක්. 

මේ ආකාරයෙන්ම දළ දේශීය නිෂ්පාදිතය (2025-2027 සාමාන්‍ය අගය) අනුව 2028 සිට ගෙවිය යුතු කූපන් පොලී අනුපාතිකයද පහළ යනවා. 

ඇමරිකන් ඩොලර් බිලියන 93.9ට වැඩිනම් - 8.2%ක්.

ඇමරිකන් ඩොලර් බිලියන 90.1- 93.9 අතරනම් - 7.3%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 86.3- 90.1 අතරනම් - 6.1%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 80.5 - 86.3 අතරනම් - 5.4%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 80.5ට අඩුනම් - 5%ක් පමණයි. 

මෙම යෝජනාවෙන් අදහස් වන්නේ සාර්ව-ආර්ථික දර්ශක හා බැඳුනු බැඳුම්කර නිකුත් කිරීමක්. යෝජනාවේ මෙම කොටසෙහි පරාමිතීන් වලට ශ්‍රී ලංකා රජය එකඟ වී නැහැ. එහෙත් ණයහිමියන් විසින් තර්ක කර තිබෙන්නේ මෙම යෝජනාව ඉතාම සාධාරණ බවයි.

පසුව ණයහිමියන් විසින් යහපාලන දර්ශක හා බැඳුනු බැඳුම්කර පිළිබඳ අදහස මතු කර තිබෙන අතර ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් එයට යහපත් ප්‍රතිචාර දැක්වීමෙන් පසුව 2024 අප්‍රේල් 3 දින අදාළ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමතරව සාර්ව-ආර්ථික දර්ශක හා බැඳුනු බැඳුම්කර පිළිබඳ සංශෝධිත යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. මෙම සංශෝධිත යෝජනාව මුල් යෝජනාවෙන් වෙනස් වන්නේ එහි පරාමිතීන් වෙනස් වීම මත පමණයි. ආකෘතියෙහි වෙනසක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලැබුනහොත් ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවට එකඟ වීමට ඉඩ තිබෙනවා. 

බැඳුම්කරහිමියන්ගේ අප්‍රේල් යෝජනා පහත පරිදි සාරාංශගත කළ හැකියි. 

දළ දේශීය නිෂ්පාදිතය (2025-2027 සාමාන්‍ය අගය) අනුව ආපසු ගෙවිය යුතු මුහුණත අගය හා 2028-2038 අතර ගෙවිය යුතු කූපන් පොලී අනුපාතික වෙනස් වෙන්නේ පහත ආකාරයටයි. මෙම යෝජනාව අනුව 2038 වන විට සියලු ණය ගෙවා අවසන් කෙරෙනවා.

ඇමරිකන් ඩොලර් බිලියන 96.3 නම් - 7.3%ක ණය කප්පාදුවක් සහ 8.5%ක කූපන් පොලියක්.

(ණයහිමියන්ගේ පුරෝකථනය)

ඇමරිකන් ඩොලර් බිලියන 93.9 නම් - 10.2%ක ණය කප්පාදුවක් සහ 8.1%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 90.1 නම් - 13.2%ක ණය කප්පාදුවක් සහ 7.4%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 86.3 නම් - 22.1%ක ණය කප්පාදුවක් සහ 6.8%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 84.2 නම් - 28.0%ක ණය කප්පාදුවක් සහ 6.4%ක කූපන් පොලියක්.

(IMF වැඩසටහනේ පුරෝකථනය)

ඇමරිකන් ඩොලර් බිලියන 80.5 නම් - 41.6%ක ණය කප්පාදුවක් සහ 6.0%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 77.6 නම් - 54.7%ක ණය කප්පාදුවක් සහ 5.8%ක කූපන් පොලියක්.

ණයහිමියන් විසින් ඉදිරිපත් කරන කරුණු ඇත්තටම නිවැරදියි. ප්‍රායෝගිකව බොහෝ විට ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය IMF ඇස්තමේන්තුව වන ඩොලර් බිලියන 84.2 ඉක්මවීමට සහ ණයහිමියන්ගේ පුරෝකථනය වන ඩොලර් බිලියන 96.3ට ආසන්න වීමට ඉඩකඩ වැඩියි. මේ අයුරින් දදේනි ඉහළ යද්දී එහි ප්‍රතිශතයක් ලෙස ණය සේවාකරණ වියදම පහළ යනවා. ඒ නිසා, ණය තිරසාරත්වය නැති වී ඇතිය යන IMF තර්කය වලංගු නැතිව යනවා. 

ඉහත හේතුව නිසා ලංකාවට ණයහිමියන් සමඟ තර්ක කළ හැකි පදනමක් නැහැ. ලංකාව කියන විදිහට සහ IMF ඇස්තමේන්තු අනුව ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඩොලර් බිලියන 84.2ක් පමණක් වුනොත් 28.0%ක ණය කප්පාදුවකට ඔවුන් කැමතියි. නමුත් ඇත්තටම ලංකාවේ ආර්ථිකය ඊට වඩා විශාල විය හැකි නිසා මේ යෝජනාව අනුව අවසාන වශයෙන් ලංකාවට ලොකු ණය කප්පාදුවක් නොලැබෙන්න ඉඩකඩ වැඩියි.

ඉදිරි මැතිවරණ එක්ක මෙය දේශපාලන ප්‍රශ්නයක් බවටද පත් වෙනවා. සජබ (විශේෂයෙන්ම හර්ෂ ද සිල්වා) කලින්ම මේ යෝජනාවට විරුද්ධව කතා කර තිබුණා. ඇතැම් විට මාලිමාව විසින් වුවද සජබ තර්කය ඉදිරියට අරගෙන යන්න ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයක් හමුවේ සහ ඉදිරි මැතිවරණ ජයග්‍රහණයක් පිළිබඳ විශාල විශ්වාසයක් නොමැති පසුබිමක ආණ්ඩුව මේ කටයුත්ත ඉදිරි ආණ්ඩුවකටම කරගන්නට ඉඩ හරියිද? 

සංශෝධිත යෝජනාවට යෝජනාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලැබුණහොත් සහ රට තුළ විශාල දේශපාලන ප්‍රතිරෝධයක් ඇති නොවුනහොත් මේ යෝජනාව මාසයක් වැනි කාලයක් ඇතුළත ඉදිරියට යා හැකියි. එහෙත් එයින් අදහස් වන්නේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත අවසන් බව නෙමෙයි. ඇතැම් පාර්ශ්ව තව දුරටත් බැඳුම්කර හුවමාරුවකට එකඟ නොවිය හැකි බැවින් වැඩේ තවත් කාලයක් ඇදෙන්න තිබෙන ඉඩකඩ ගොඩක් වැඩියි. 

අනෙක් අතට ලොකු දේශපාලනික විරෝධයක් මතු වුනොත් ආණ්ඩුව වැඩේ ඉවරයක් කරන්න හදිස්සි නොවී මැතිවරණ අවසන් වන තුරු කල් මරන්න ඉඩ තිබෙනවා.

Monday, April 15, 2024

ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාවෙහි සඳහන් කරුණක් ගැන පාඨකයින් කිහිප දෙනෙකු විසින් අදහස් දක්වා තිබුණා. වෙනත් තැන් වලද මේ ගැන කතා වෙනු දැකිය හැකි වුනා. නමුත් ඒ බොහෝ දෙනෙකු විසින් එසේ අදහස් පළ කර තිබුණේ අඩු වශයෙන් අදාළ වාර්තාව හෝ නොකියවා බවයි නිරීක්ෂණය වුනේ. 

ක්‍රම සහ විධි කාරක සභාව කියන්නේ කුමක්ද?

කාරක සභා ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සුවිශේෂී අංගයක්. පාර්ලිමේන්තුවක් වැනි නියෝජිතයින් සිය ගණනක් සිටින සභාවකට කිසියම් කරුණක් සාකච්ඡා කර තීරණයකට පැමිණීම සඳහා තිබෙන්නේ සීමිත කාලයක් පමණයි. මෙම කාලය තුළ අවශ්‍ය හැම දෙයක්ම ප්‍රමාණවත් තරමින් සාකච්ඡා කරන්න අමාරුයි. මෙයට විසඳුමක් ලෙස කාලය යොදවා අධ්‍යයනය කළ යුතු දේවල් එසේ අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට කරුණු හා නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යය කාරක සභාවකට පැවරෙනවා. කාරක සභාවක් තෝරාගත් නියෝජිතයින් සීමිත පිරිසකගෙන් සමන්විතයි. 

ඇතැම් කාරක සභා ස්ථාවර කාරක සභා. මෙවැනි කාරක සභා වලට පැවරුණු නිශ්චිත කාර්යයන් තිබෙනවා. එම කාර්යයන් සාකච්ඡාවට ගෙන  පාර්ලිමේන්තුවට කරුණු හා නිර්දේශ ඉදිරිපත් කිරීම අදාළ ස්ථාවර කාරක සභාවේ කාර්යයක්. සාමාජිකයින් වරින් වර වෙනස් වුනත් මෙවැනි කාරක සභා දිගටම තිබෙනවා. මීට අමතරව වරින් වර විශේෂ කාර්යයන් සඳහා කාරක සභා පත් කෙරෙනවා. ක්‍රම සහ විධි කාරක සභාව එවැනි විශේෂ කාර්යයන් සඳහා ස්ථාපනය කළ කාරක සභාවක්.

ක්‍රම සහ විධි කාරක සභාව පිහිටුවා තිබෙන්නේ රටේ මූල්‍ය කටයුතු අධීක්ෂණය කරන කාරක සභාවක් ලෙසයි. බදු අය කිරීම්, තීරුබදු සහ රජයේ අනෙකුත් ආදායම් වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග වලට අදාළ සියලු කරුණු පරීක්ෂා කිරීමටත්, අවශ්‍ය අවස්ථා වල බදු සහ තීරුබදු සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්ති වල වෙනස්කම් යෝජනා කිරීමටත් මෙම කාරක සභාවට බලය තිබෙනවා. කෙටියෙන් කිවුවොත් මෙම කාරක සභාව පිහිටුවීමේ අරමුණ රජයේ බදු ආදායම් වැඩි කර ගත හැකි ආකාරය සොයා බලා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීමටයි.

සාමාන්‍යයෙන් මෙවැනි කාරක සභාවක කාර්යය නිර්දේශ ඉදිරිපත් කිරීමට සීමාවෙනවා. ඒවා නීති හෝ නියෝග නෙමෙයි. එම නිර්දේශ සලකා බලා කළ යුතු දෙයක් ඇත්නම් කිරීම පාර්ලිමේන්තුවේ කාර්යයක්.

ක්‍රම සහ විධි කාරක සභාවේ ඉන්නේ කවුද?

මෙහි සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පත් කර තිබෙනවා. ඔවුන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන අයයි. මේ අතරින් අයෙකු වන පාඨලී චම්පික රණවක කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනවා.

ඔය කියන කාරක සභා වාර්තාව කුමක්ද?

මේ කියන්නේ පසුගිය (2024) අප්‍රේල් 1 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවන වාර්තාවයි. මෙම වාර්තාවෙහි ආදායම් එකතු කර ගැනීම ගැනත්, වෙනත් කරුණු කිහිපයක් ගැනත් කරුණු හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. 

වෙළෙන්දන් "අයුතු" ලාබ ලබන බවක් මේ වාර්තාවේ කියා තිබෙනවාද?

එහෙම කතාවක් මේ වාර්තාවේ නැහැ. "අයුතු" ලාබ ගැන කතා කළ හැක්කේ "යුතු ලාබ" වලට සාපේක්ෂවයි. කවුරු හෝ අයෙක් රටේ පවතින නීති රාමුව යටතේ, එම නීති උල්ලංඝනය නොකර, ලාබ උපයනවානම් ඒවා "යුතු ලාබ" මිසක් "අයුතු ලාබ" නෙමෙයි. "අයුතු ලාබ" කියන වචනය හෝ ඒ ආකාරයේ "අයුතු ලාබ" ගැන මෙම වාර්තාවේ කිසිවක් සඳහන්ව නැහැ. "අසාධාරණ ලාබ" වැනි වචනද මේ වාර්තාවේ නැහැ. එහෙත් වෙළෙන්දන් විසින් "විශාල ලාභයක්" උපයා ඇති බව මෙම වාර්තාවේ සඳහන්ව තිබෙනවා. මෙය "අසාධාරණ" හෝ "අයුතු" ලාභ ගැන කෙළින්ම නොකියා එවැන්නක් ගැන ඉඟි කිරීමක් ලෙස සැලකිය හැකියි. හරියටම කිවුවොත්, වාර්තාවේ සඳහන්ව ඇත්තේ පහත ඇති පාඨයයි.  

"2022 හා 2023 වසර වලදී විශේෂයෙන්ම බී ලූණු, අර්තාපල්, වියලි හාල්මැස්සන්, උම්බලකඩ හා මුංඇට වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමේදී පාරිභෝගිකයාට අතිවිශාල වියදමක් දැරීමට සිදු වී ඇති අතර එමගින් වෙළෙන්දන් විශාල ලාභයක් උපයා ඇත."

මෙවැන්නක් කියන පදනම කුමක්ද?

මෙම කමිටුවේ සාමාජිකයින් විසින් ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය වල ආනයනික මිලට බදු එකතු කර වෙළෙන්දන්ගේ පිරිවැය ගණනය කරනවා. ඉන් පසුව, එම අගය අදාළ ආහාර ද්‍රව්‍ය වල සිල්ලර මිල සමඟ සංසන්දනය කර මෙම අගයයන් අතර වෙනස වෙළෙන්දන්ගේ ලාබය ලෙස පෙන්වනවා. 


මේ විදිහට ලාබය ගණනය කරන එක නිවැරදිද?

කිසිසේත්ම නැහැ. ඒ බව මෙම වාර්තාවේම සඳහන් පහත පාඨයෙන් වුවද සනාථ වෙනවා.

"භාණ්ඩයක වෙළඳපොළ මිල තුළ ද්‍රව්‍යමය හානි, ප්‍රවාහන වියදම් හා වෙළෙන්දන් විසින් උපයන ලාබ ඇතුළත් වේ."

එහෙත්, මෙම කමිටුව විසින් ලාබ ගණන් හදද්දී ඔවුන් විසින්ම සඳහන් කරන ද්‍රව්‍යමය හානි හා ප්‍රවාහන වියදම් නොසලකා හරිනවා. ඊට අමතරව ගබඩා කර තබා ගැනීමේ වියදම්, මූල්‍ය පිරිවැය, සේවක පඩිනඩි ඇතුළු ශ්‍රමයේ මිල සහ අනෙකුත් අමතර වියදම් (ගොඩනැගිලි කුලී, විදුලි බිල්, ප්‍රචාරණ වියදම් ආදිය) නොසලකා හරිනවා. ලාබය ගණනය කළ හැක්කේ මේ සියලු පිරිවැය අඩු කිරීමෙන් පසුවයි. මෙම කමිටුව විසින් එවැනි නිවැරදි හා අංග සම්පූර්ණ අධ්‍යයනයක් සිදු කර නැහැ. මෙම වාර්තාවේ තිබෙන්නේ මතුපිටින් බලා සිදු කළ අසම්පූර්ණ සංසන්දනයක්. ඒ නිසාම, වාර්තාවේ සඳහන් "විශාල ලාභයක් උපයා ඇති බව" යන ප්‍රකාශයේ පදනම දුර්වල එකක්. එය එසේ විය හැකි වුවත්, මෙම වාර්තාවේ ඇති කරුණු වලින් එය පැහැදිලි ලෙස තහවුරු වන්නේ නැහැ.

ඒ වගේම, මෙම වාර්තාවෙහි ආනයනකරුගේ සිට තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා දක්වා සිදු වන අගය එකතු වීම සහ ඔවුන් අතර ලාබ බෙදී යාම අධ්‍යයනය කිරීමක් සිදුව නැහැ. ඒ වෙනුවට, මේ සියලු පාර්ශ්වයන්ගේ අමතර පිරිවැය හා ලාබ "වෙළෙන්දන් විසින් උපයන ලාබ" ලෙස එක ගොඩකට දමා තිබෙනවා. ඒ නිසා, යම් හෙයකින් මෙහි "විශාල ලාබ" තිබුණත් ඒ විශාල ලාබ එකතු වන්නේ කවර අදියරේදීද යන ප්‍රශ්නයට මෙම වාර්තාව පිළිතුරු සපයන්නේ නැහැ.

එහෙමනම්, මේ වාර්තාවේ ගතයුත්තක් නැද්ද?

ඉහත අඩුපාඩු තිබුණත් වාර්තාවේ ගත යුත්තක් නැති බවක් එයින් අදහස් වන්නේ නැහැ. එහි ඇස්තමේන්තු වලින් වෙළෙන්දන්ගේ ලාබ අදහස් නොවෙතත්, 2018 සිට 2023 දක්වා සිදු කරන සංසන්දනය වැදගත්. සමස්තයක් ලෙස ගත් විට, 2018-2021 කාලයට සාපේක්ෂව 2022 හා 2023 වසර වලදී ඇස්තමේන්තු කර තිබෙන ආන්තිකයෙහි කැපී පෙනෙන වැඩි වීමක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා, මෙය වෙළෙන්දන්ගේ ලාබ වැඩි වීමක්ද යන්න ප්‍රශ්න කිරීමට පසුබිමක් තිබෙනවා. ඊට අමතරව, මෙහි සඳහන් ආනයනික පාරිභෝගික භාණ්ඩ වල ආනයනික මිලට සාපේක්ෂව දේශීය නිෂ්පාදන වල තරඟකාරිත්වය පිළිබඳවද මෙහි සඳහන් තොරතුරු ඇසුරෙන් අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම, වාර්තාවේ මෙම කරුණට අමතරව වෙනත් කරුණු ගණනාවක් පිළිබඳව අධ්‍යයනය කර කරුණු හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය දෙවසර තුළ මෙහි සඳහන් "ලාබ ඇස්තමේන්තු" ඉහළ ගොස් ඇත්තේ කෙසේද?

බී ලූණු

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 145

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 87

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 58

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 289

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 98

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 191


අර්තාපල් 

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 155

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 100

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 55

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 209

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 103

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 106


වියලි හාල්මැස්සන් 

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 789

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 401

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 388

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 1424

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 508

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 916


උම්බලකඩ 

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 1916

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 926

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 990

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 3065

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 872

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 2193


මුං ඇට 

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 545

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 215

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 330

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 1113

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 438

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 675


ඉහත දත්ත දෙස බැලූ විට පෙනී යන්නේ කුමක්ද?

පළමු නිරීක්ෂණය වන්නේ ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගියද පෙර දෙවසරට සාපේක්ෂව, පසුගිය දෙවසර තුළ, ඉහත පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීමේ සෘජු පිරිවැය විශාල ලෙස ඉහළ ගොස් නොමැති බවයි. ඊට හේතුව ඩොලරයක මිල ඉහළ යද්දී මෙම භාණ්ඩ ආනයනය කෙරෙන රට වල එම භාණ්ඩ වල මිල ගණන් අඩු වී තිබීමයි. (මුං ඇට හා අදාළව මෙම තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් දැකිය හැකියි.) එහෙත්, දේශීය අගය එකතු වීම් කොටස දෙගුණයකින් හෝ ඊටත් වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. දේශීය අගය එකතු වීම් කොටස දෙගුණයකින් හෝ ඊටත් වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබීමෙන් වෙළෙන්දන්ගේ ලාභ විශාල ලෙස ඉහළ ගොස් ඇති බවක් අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ.

මෙහි වෙළෙන්දන් ලෙස පොදුවේ හඳුන්වා තිබෙන්නේ අතරමැදියන් ගණනාවක් සිටින දාමයක්. එහි අවසාන අදියරේ ඉන්නේ පාරිභෝගිකයාට සෘජුව සම්මුඛ වන සිල්ලර වෙළෙන්දා. සිල්ලර වෙළෙන්දන් බොහෝ විට විශාල ධනවතුන් නෙමෙයි. ඔවුන් සුළු ව්‍යාපාරිකයින්. මෙවැනි අය බොහෝ විට තමන් විසින්ම ව්‍යාපාරය වෙනුවෙන් ශ්‍රමය යොදවන අයයි. ඇතැම් විට පවුලේ වෙනත් සාමාජිකයින් විසින්ද මෙවැනි ව්‍යාපාර වෙනුවෙන් ශ්‍රමය යොදවනවා. මෙසේ යොදවන ශ්‍රමය වෙනුවෙන් මොවුන් වෙනම වැටුප් ගන්නේ නැහැ. එම වැටුප් කොටස තිබෙන්නේද ව්‍යාපාරයේ ලාබ කොටස තුළයි.

පසුගිය දෙවසර තුළ සමස්තයක් ලෙස රටේ බඩු මිල විශාල ලෙස ඉහළ ගියා. එසේ බඩු මිල වැඩි වෙද්දී තමන්ගේ ශ්‍රමයේ මිල වැඩි කර ගත හැකි අය බඩු මිල වැඩි වීමට අනුරූපව තමන්ගේ ශ්‍රමයේ මිලද වැඩි කර ගෙන තිබෙනවා. එසේ නොකර ඔවුන්ට තමන්ගේ පෙර පැවති ජීවන තත්ත්වය පවත්වා ගන්න බැහැ. ක්‍රම සහ විධි කාරක සභා කාරක සභාවේ ඇස්තමේන්තු තුළ මෙය පිළිබිඹු වන්නේ වෙළෙන්දන්ගේ ලාබ ඉහළ යාමක් ලෙසයි. ඊට අමතරව ප්‍රවාහන ගාස්තු, විදුලි ගාස්තු ආදිය ඉහළ යාමේ බලපෑමද පිරිවැය කොටසට එකතු වන නිසා තොග වෙළෙන්දාගේ මිල සහ සිල්ලර වෙළෙන්දාගේ මිල අතර පරතරය පසුගිය දෙවසර තුළ අනිවාර්යයෙන්ම ඉහළ ගොස් තිබිය යුතුයි. එයින් ඔවුන්ගේ ලාබ ඉහළ ගොස් ඇති බවක් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ.

මෙම දාමයේ සිල්ලර වෙළෙන්දාට පෙර සිටින්නේ තොග වෙළෙන්දා. ප්‍රවාහන ගාස්තු හා අනෙකුත් වියදම් ඉහළ යාම තොග වෙළෙන්දාටද බලපානවා. ඊට අමතරව තොග ගබඩා කරගෙන සිටීමේ පිරිවැය, විශේෂයෙන්ම මූල්‍ය පිරිවැය, පසුගිය කාලයේදී විශාල ලෙස ඉහළ ගියා. බඩු තොගයක වටිනාකම රුපියල් ලක්ෂයක් ලෙස සැලකුවහොත්, එම මුදල 12%ක බැංකු ණයක් යොදවා කළ ආයෝජනයක්නම්, මාසයක් මේ බඩු වෙනුවෙන් සල්ලි යට කර තැබීමේ පිරිවැය රුපියල් දහසක්. පොලිය 24% වන විට එම පිරිවැය දෙගුණ වෙනවා. 

සුපිරි වෙළඳසැලක් බොහෝ විට තොග වෙළෙන්දාගේ හා සිල්ලර වෙළෙන්දාගේ කාර්යයන් දෙකම කරනවා. ඒ නිසා, ශ්‍රමයේ මිල ඉහළ යාම, ප්‍රවාහන වියදම් ඉහළ යාම, විදුලි ගාස්තු වැනි වියදම් ඉහළ යාම, බැංකු පොලී ඉහළ යාම ආදී හැම දෙයක්ම මිල වෙනස ඉහළ දමනවා. ලාබ වැඩි වී ඇත්ද යන්න නිගමනය කළ හැක්කේ මේ සියලු සෘජු හා වක්‍ර වියදම් ඉවත් කිරීමෙන් පසුවයි.

දාමයේ මුල සිටින ආනයනකරු සැලකුවත්, ක්‍රම සහ විධි කාරක සභා වාර්තාවෙහි ආනයනකරුගේ මූල්‍ය පිරිවැය පිළිබඳව සලකා නැහැ. එම මූල්‍ය පිරිවැය පසුගිය දෙවසර තුළ විශාල ලෙස ඉහළ ගියා. 

ඒ කියන්නේ වාර්තාවේ සඳහන් "වෙළෙන්දන් විශාල ලාභයක් උපයා ඇත" කියන ප්‍රකාශය බොරුවක්ද?

මේ ප්‍රකාශය ඇත්තක්ද බොරුවක්ද කියා හරියටම කියන්න පුළුවන් වන්නේ සියලුම පිරිවැය නිවැරදිව සලකා බලා ඇස්තමේන්තුවක් කළහොත් පමණයි. මෙම වාර්තාවේ එවැනි නිවැරදි ගණනය කිරීමක් සිදු කර නැහැ. තමන් විසින් කවදාවත්ම ව්‍යාපාරයක් කර නැති අය වෙනත් අයගේ ලාබ ගණන් හදන්න යන විට ඔය වගේ අඩුපාඩු සිදු වෙන එක පුදුමයක් නෙමෙයි. ඒ නිසා, වාර්තාවේ සඳහන් ප්‍රකාශය නිවැරදි වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

කොහොම වුනත්, මෙම වාර්තාවෙහි ප්‍රශ්නයක් හඳුනා ගන්නවා. ඒ සඳහා එහි යෝජනා කර තිබෙන විසඳුම් මොනවාද?

ප්‍රධාන යෝජනා දෙකක් දැකිය හැකියි.

1. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පවත්වා ගෙන යාම. මෙහි අරමුණ බව පෙනී යන්නේ රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම මිස පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු මිල අඩු කිරීම නෙමෙයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පවත්වා නොගැනීම නිසා රජයේ බදු ආදායම අඛණ්ඩව අඩු වෙමින් පවතින බව කාරක සභාව විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

2. ආනයනික ආහාර ද්‍රව්‍ය වල ආනයනකරුවන්ට හා වෙළෙන්දන්ට ඒවායේ මිල ගණන් අත්තනෝමතික ලෙස ඉහළ දැමීමට තිබෙන ඉඩකඩ වලක්වමින් මෙම වාර්තාවේ සිදු කර ඇති පරිදි භාණ්ඩ වල බදු පැනවීමෙන් පසු පිරිවැය මාස්පතා ප්‍රසිද්ධියට පත් කිරීම සහ එම භාණ්ඩ වල වෙළඳපොළ මිල ගණන්ද එලෙසම ප්‍රසිද්ධ කිරීම.

මෙම වාර්තාවේ අදාළ භාණ්ඩ වල මිල පාලනය කළ යුතු බව හෝ වෙළඳපොළ නියාමනය කළ යුතු බව සඳහන්ව තිබේද?

එවැනි යෝජනා මෙම වාර්තාවේ නැහැ. 

දැනට මෙම සැපයුමේ දාමය තුළ සිටින වෙළෙන්දන් අධික ලාභ ලබන බව මෙම වාර්තාවේ ඇති කරුණු වලින් තහවුරු නොවෙතත්, එවැන්නක් සිදු වීමේ ඉඩක් තිබේද?

අනිවාර්යයෙන්ම තිබෙනවා. මෙහි සඳහන් පාරිභෝගික භාණ්ඩ වර්ග පහම රට තුළ නිපදවන දේවල්. එම භාණ්ඩ ආනයනය කර ඉහළ මිලකට විකිණිය හැකි වීමෙන් පෙනෙන්නේ දේශීය නිෂ්පාදනය කොයි තරම් අකාර්යක්ෂමද යන්නයි. වෙළඳපොළක මිල තීරණය වන්නේ වඩාත්ම අකාර්යක්ෂම නිෂ්පාදකයාගේ පිරිවැය මතයි. 

වියලි හාල්මැස්සන් උදාහරණයකට ගත්තොත්, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද සමඟ කිලෝග්‍රෑමයක් ලංකාවට එන විට මිල රුපියල් 396ක් පමණයි. විදේශ ධීවරයාගේ, හාල්මැස්සන් වියලා සකස් කරන්නාගේ, පැකට් කරන්නාගේ, සිල්ලර හා තොග වෙළෙන්දන්ගේ සිට අපනයනකරු දක්වා සියල්ලන්ගේම පිරිවැය හා ලාබ මෙන්ම අපනයන බදු ඇත්නම් ඒවාද තිබෙන්නේ මෙම රුපියල් 396 තුළයි. මෙසේ රුපියල් 396කට ලංකාවට එන වියලි හාල්මැස්සන් කිලෝව ලංකාවේ විකිණෙන්නේ රුපියල් 1308කටයි. පාරිභෝගිකයා විසින් ගෙවන එම මිලෙන් රුපියල් 812ක් රට තුළ ඉතිරි වෙනවා. 

වෙළෙන්දන්ගේ ලාබ කෙසේ වුවත්, ක්‍රම සහ විධි කාරක සභා වාර්තාවෙහි ආනයනික භාණ්ඩ වල දේශීය අගය එකතු කිරීම නිවැරදිව ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව, වියලි හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1308කට විකිණෙන විට රුපියල් 812ක දේශීය ගය එකතු වීමක් සිදු වෙලා. එම මුදල කෙසේ බෙදී ගියත් එසේ බෙදෙන්නේ ශ්‍රී ලාංකිකයින් අතරයි. ඒ නිසා, ආනයනික හාල්මැස්සන් කිලෝවක් පාරිභෝගිකයෙක් විසින් මිල දී ගන්නා විට රටේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 812කින් ඉහළ ගිහින්.

රටේ නිපදවන වියලි හාල්මැස්සන් කිලෝවක් විකිණෙන්නේත් ඔය මිලටයි. එවිට රටේ දළ දේශීය නිෂ්පාදිතයට කොපමණ මුදලක් එකතු වෙනවාද? මෙය තීරණය වන්නේ වියලි හාල්මැස්සන් කිලෝවක් නිපදවීම සඳහා යන දේශීය පිරිවැය කොපමණද යන්න මතයි. යම් හෙයකින් එම පිරිවැය රුපියල් 396ට වඩා වැඩිනම්, එයින් අදහස් වන්නේ ආනයනය නොකර රට තුළ නිපදවන සෑම වියලි හාල්මැස්සන් කිලෝවක් ගණනේම රටේ දළ දේශීය නිෂ්පාදිතය පහළ යන බවයි!

බොහෝ විට ලංකාව තුළ වියලි හාල්මැස්සන් කිලෝවක් නිපදවීම සඳහා වැය වන පිරිවැය රුපියල් 396ට වඩා වැඩි විය හැකියි. එය එසේ නොවේනම්, ආනයනික වියලි හාල්මැස්සන් කිලෝවක් මෙවැනි වැඩි මිලකට විකුණන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ පාරිභෝගිකයාගේ පැත්ත ගැන හෝ රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීම ගැන හිතනවානම් පාර්ලිමේන්තුව විසින් විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නය මෙය බවයි. බී ලූණු, අර්තාපල්, උම්බලකඩ හා මුංඇට සම්බන්ධව වුවද මේ කතාවේ වෙනසක් නැහැ.

මෙවැනි තත්ත්වයක් තුළ ආනයනකරුවන්ට "අධික ලාභයක්" ලැබීමේ අවස්ථාවක් ඇත්තටම තිබෙනවා. තරඟය වැඩි වුනා කියා එම අධික ලාභය අඩු වෙන්නේ හෝ මිල පහළ යන්නේ නැහැ. එසේ විය හැක්කේ ආනයන විශාල ලෙස ඉහළ ගොස් දේශීය නිෂ්පාදිතය නැත්තටම නැති වී යන තත්ත්වයකදී පමණයි.

මෙම භාණ්ඩ වල මිල පාලනය කළහොත් එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙයිද?

දැනට මෙම සැපයුමේ දාමය තුළ සිටින වෙළෙන්දන් විසින් අධික ලාභ ලබා ගන්නේනම් මිල පාලනය කළ විට එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙනවා. නමුත්, මෙයින් දේශීය නිෂ්පාදනය නැත්තටම නැති වී යාම හෝ විශාල ලෙස කඩා වැටීමද නොවැලැක්විය හැකියි. ප්‍රශ්නයේ මුල තිබෙන්නේ දේශීය නිෂ්පාදන වල අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය වීම එයට හේතුවයි. ආනයනකරුවන් විසින් අධික ලාභ ලබයිනම් එය අතුරු ප්‍රතිඵලයක්. රජයට එක්කෝ පාරිභෝගිකයින්ගේ පැත්ත අමතක කර නිෂ්පාදනය ගැන අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිෂ්පාදනය වැඩි කර ගැනීම අමතක කර මිල අඩු කර ගැනීම ගැන හිතන්න පුළුවන්. ඔය දෙකම කරන්න බැහැ.

මෙම කාරක සභා වාර්තාවෙහි යෝජනා කරන පරිදි මිල හා පිරිවැය ප්‍රසිද්ධ කිරීම ප්‍රයෝජනවත් නැද්ද?

මෙහි තිබෙන්නේ බඩුමිල ඉහළ යාමේ වැරැද්ද තෙවන පාර්ශ්වයක් පිට පැටවීමේ උත්සාහයක් මිසක් ප්‍රශ්නයට සැබෑ විසඳුම් සෙවීමක් නොවන බව මගේ පෞද්ගලික අදහසයි. එසේ වුවත්, මේ වැඩේ නරක වැඩක් නෙමෙයි. එයින් හොඳක් සිදු වීමේ යම් ඉඩක් ඇති අතර නරකක් වීමට හේතුවක් නැහැ. මෙම අතරමැදි කර්මාන්තයේ ලාබ ඇත්තටම ගොඩක් වැඩිනම් තවත් අය කර්මාන්තයට ආකර්ශනය වී තරඟය නිසා මිල අඩු වීමක් වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය නිෂ්පාදකයින්ට තරඟ කිරීම වඩා අසීරු වෙන්න පුළුවන්.

සමුපකාර ක්‍රමය මේ ප්‍රශ්නයට විසඳුමක්ද?

සමුපකාර කියන්නේ පොදු වචනයක්. විවිධ වර්ග වල සමුපකාර තියෙන්න පුලුවන්. මෙම කර්මාන්තයේ අධික ලාභ තිබේනම්, පාරිභෝගිකයින්ගේ සමුකාරයකට එහි වාසිය ලබා ගන්න පුළුවන්. නමුත්, මෙහිදීද අවසාන වශයෙන් දේශීය නිෂ්පාදකයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රතිඵලය තීරණය වන්නේ කර්මාන්තයේ අධික ලාභ තිබේනම් එම ලාබ තිබෙන්නේ කවර අදියර තුළද යන්න මතයි.

බදු වැඩි කිරීම ප්‍රශ්නයට විසඳුමක්ද?

ඇත්තටම කර්මාන්තයේ අධික ලාබ තිබේනම් බදු වැඩි කිරීම මගින් එම ලාබ වලින් කොටසක් රජයේ ආදායම් බවට හරවා ගන්න පුළුවන්. මෙහිදී පාරිභෝගිකයා විසින් ගෙවන මිල ඉහළ යන්නේ නැහැ. ඊට හේතුව, එම මිල තීරණය වන්නේ ආනයනික පිරිවැය මත නොව දේශීය නිෂ්පාදකයාගේ පිරිවැය මත නිසයි.

Friday, April 12, 2024

ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!


ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසර තුළ 1.9%කිනුත්, 2025දී 2.5%කිනුත් වර්ධනය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව විසින් පුරෝකථනය කර තිබෙනවා. මෙසේ ආර්ථිකය නැවත පණ ගසා නැගිටිනු ඇතැයි ඔවුන් සිතන්නේ දැනට සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ දිගටම සිදු වනු ඇතැයි යන උපකල්පනය මත බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

කෙසේ වුවද, එළැඹෙන මැතිවරණ නිසා ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය, විශේෂයෙන්ම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මත හා අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මත එමගින් සිදු විය හැකි බලපෑම, ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ලොකුම අවදානම ලෙස හඳුනා ගන්නවා.

"Risks to the outlook tend to the downside. Among them, the most important is uncertainty associated with the upcoming elections, including any possible impact on fiscal policy and reform implementation."

පසුගිය වසර අවසාන වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 37,334.5ක විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 6,231.1ක්ම ගෙවිය යුතු වූයේ ආසියානු සංවර්ධන බැංකුවටයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානම සංවර්ධන හවුල්කරු සේ සැලකිය හැකි ආසියානු සංවර්ධන බැංකුව විසින් තවමත් ලංකාවට දිගින් දිගටම ණය ලබා දෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව විසින්ද දිගටම ආසියානු සංවර්ධන බැංකුවට ගෙවිය යුතු ණය වාරික හා පොලී මුදල් ගෙවනවා. 



ශුභ සූර්ය මංගල්‍යයක්!

 



ගෙවුණු මැදින් අමාවක පෝය දවස (අප්‍රේල් 8) සුවිශේෂී දවසක්. ඒ ජීවිතයේ පළමු වරට පූර්ණ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කළ හැකි වූ නිසා. අවුරුදු එකහමාරකට පමණ වරක් පෘථිවියේ කොහේ හෝ තැනක සිට පූර්ණ සූර්යග්‍රහණයක් නැරඹිය හැකි වුනත්, යම් නිශ්චිත තැනකට පූර්ණ සූර්යග්‍රහණයක් පෙනෙන්නේ සියවස් එකහමාරකට පමණ වරක්. ඒ වගේම, මේ කාලාන්තර විශාල ලෙස විචලනය වන පරාසයක ආසන්න සාමාන්‍ය අගයයන් පමණයි. 

මෙම පූර්ණ සූර්යග්‍රහණය වැඩි මහන්සියක් නැතිව ගෙදර සිටම නිරීක්ෂණය කළ හැකි වුනා. එය අපූරු අත්දැකීමක්. මීට වසර හතකට පෙර 2017දීද ඇමරිකාවට පෙනුණු පූර්ණ සූර්යග්‍රහණයක් තිබුණා. පැය පහක හයක ගමනකින් පසු එය නිරීක්ෂණය කළ හැකිව තිබුණත්, අදාළ දිනයේ තිබුණු වැඩ රාජකාරි නිසා එය කළ හැකි වූයේ නැහැ. ඒ නිසා, තවත් අවුරුදු හතක් බලා ඉන්න වුනා. 2017 සූර්යග්‍රහණය නිවසට පෙනුණේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසයි. එහිදීද ඉරෙන් 92%ක් ආවරණය වනු දැකගත හැකි වුවත්, එය කිසිසේත්ම පූර්ණ සූර්යග්‍රහණයක් දැකීමේ අත්දැකීමට සම කළ නොහැකියි.

සූර්යග්‍රහණ සිදු වන්නේ අමාවක පෝය දින වලයි. අමාවක පෝයෙන් ලංකාවේ චන්ද්‍ර මාස අවසන් වෙනවා. සඳුගේ ගමන මත පදනම් වූ ඉන්දීය කලාපයේ විවිධ දින දර්ශන පූර්ණිමාන්ත දින දර්ශන හා අමාන්ත දින දර්ශන සේ වර්ග කෙරෙනවා. පූර්ණිමාන්ත ක්‍රමයේදී මාස මාරු වෙන්නේ පසළොස්වක පෝය දිනයෙන්. අමාන්ත ක්‍රමයේදී අමාවක පෝය දිනයෙන්. ලංකාවේ භාවිතා වෙන්නේ අමාන්ත ක්‍රමයයි. 

ඇමරිකාවේ කොටසකට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වූ මැදින් අමාවක දිනයෙන් පසු ලංකාවේ භාවිතා කරන චන්ද්‍ර-සූර්ය දින දර්ශනය අනුව බක් මාසය උදා වුනා. එම දින දර්ශනය චන්ද්‍ර දින දර්ශනයක් නොවී චන්ද්‍ර-සූර්ය දින දර්ශනයක් වන්නේ මාස පදනම් වන්නේ චන්ද්‍රයාගේ ගමන මත වුවත්, අවුරුද්ද පදනම් වන්නේ සූර්යයාගේ ගමන මත නිසයි. 

මෙයින් වෙනස්ව ඉස්ලාම් දින දර්ශනය තනිකරම චන්ද්‍ර දින දර්ශනයක්. ඒ නිසා, එහි වසරක කාලය සූර්ය දින දර්ශනයක වසරක කාලයට වඩා දින 11කින් පමණ කෙටියි. සිංහල චන්ද්‍ර-සූර්ය දින දර්ශන ක්‍රමයේදී වසර තුනකට පමණ වරක් අධික මාසයක් එකතු කිරීම මගින් මෙම වෙනස ගලපනවා. එය කරන්නේ මේෂ සංක්‍රාන්තිය බක් මාසය තුළ සිදු වන ලෙසයි. ඒ අනුව, බක් අමාවක දිනය සිංහල අවුරුද්දෙන් පසුව එළැඹෙන පළමු අමාවක දිනයයි. 

මෙවර, ඉස්ලාම් දින දර්ශනය අනුව ශව්වාල් මාසයේ පළමු දිනට යෙදෙන, ඉස්ලාම් ආගමිකයින්ගේ ඊද් උත්සව දිනයද සිංහල අවුරුදු දිනය කිට්ටුවටම ඇවිත් තිබෙනවා. දින දර්ශන වල වෙනස නිසා එසේ සිදු වන්නේ වසර 33කට පසුවයි. 

පූර්ණ සූර්යග්‍රහණයක් කියන්නේ ඉර හා හඳ එකවර එකතැන තිබෙනු දැකිය හැකි දුලබ අවස්ථාවක්. අර්ධ සූර්යග්‍රහණයකදී ඉරෙන් 99%ක් පමණම වැසී ගියද, පූර්ණ සූර්යග්‍රහණයකදී මෙන් එය පියවි ඇසින් බැලිය නොහැකියි. විශේෂ කණ්නාඩියක් පැළඳ මේ  නිරීක්ෂණය කළ හැකි වුවත්, එය පියවි අතින් පූර්ණ සූර්යග්‍රහණයක් දකින තරම් අපූරු අත්දැකීමක් නෙමෙයි. 

ඇමරිකාවේ සිට පූර්ණ සූර්යග්‍රහණයක් පියවි ඇසින් නරඹද්දී, මගේ මනසේ චිත්‍රණය වන්නේ බක් අමාවක පෝය දිනයක් වූ ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 දින උදේ 8:40:27 සිට 8:44:13 දක්වා මිනිත්තු 3කුත්  තත්පර 46ක කාලයක් තුළ ලංකාවේ නාගදීපයට දර්ශනය වූ පූර්ණ සූර්යග්‍රහණය හා එවැනි අවස්ථාවක සිදු විය හැකිව තිබුණු සිදුවීම්යි මාලාවයි. 

බක් මාසය ශ්‍රී ලාංකිකයින්ගේ උත්සව මාසයයි. මම හිතන්නේ කාලයකට පසුව මේ උත්සව මාසය ශ්‍රී ලාංකිකයින් විසින් සතුටෙන් සමරන බවයි. පාස්කු ප්‍රහාරය, වසංගතය හා ආර්ථික අර්බුදය නිසා වසර ගණනාවක්ම මේ උත්සව සමය ගෙවුනේ ලොකුවට සතුටු විය හැකි විදිහට නෙමෙයි. 

සිංහල අලුත් අවුරුද්ද ඇතුළු විවිධ සූර්ය මංගල්‍යයන් සමරන සියලු දෙනාටත්, ඊද් උත්සවය සැමරූ ඉස්ලාම් භක්තිකයින්ටත්, මේ කිසිවක් සමරන්නේ නැති අයටත් සුබ උත්සව සමයක්! 

Thursday, April 11, 2024

ස්වෛරිත්ව බැඳුම්කර වල අලුත්ම තත්ත්වය


ස්වෛරිත්ව බැඳුම්කර හුවමාරු කිරීමේදී ගනුදෙනු කළමනාකරුවන් සේ කටයුතු කිරීම සඳහා කැමැත්තක් දක්වන පාර්ශ්ව වලට ඒ සඳහා අයදුම් කිරීම සඳහා ලබා දී තිබුණු කාලය ඊයේ (අප්‍රේල් 10) අවසන් වුනා. 

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය සිදුවන්නේ ස්වේච්ඡා හුවමාරුවක් ලෙසයි. මෙහිදී දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග සමඟ හුවමාරු කෙරෙනවා. එය සිදු වන්නේ බැඳුම්කරහිමියන්ගේ කැමැත්ත මතයි. ඔවුන් මෙවැනි හුවමාරුවක් කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලමින් ඒ සඳහා අයැදුම් කළ යුතුයි. මෙය දේශීය ණය (සංවර්ධන බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කර) ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදු වූ දෙයට සමාන දෙයක්.

මෙවැනි කාර්යයකදී රජය විසින් මුහුණ දෙන ප්‍රධානම අවදානම "බැහැරවීමේ අවදානම (Holdout risk)" ලෙස හැඳින්වෙනවා. එයින් අදහස් වන්නේ බැඳුම්කරහිමියන්ගෙන් කොටසක් බැඳුම්කර හුවමාරු කිරීමට කැමති නොවීමයි. "සාමූහික කැමැත්ත පිළිබඳ වගන්ති" අනුව බැඳුම්කරහිමියන්ගෙන් යම් අවම ප්‍රමාණයකගේ කැමැත්ත ලබා ගත හැකිනම් රජයට මෙම බැහැර වීමේ අවදානම වලක්වා ගත හැකියි.

ඉහත සඳහන් පරිදි,  බැහැර වීමේ අවදානමෙන් බැහැර වීමටනම්, පළමුව අදාළ බැඳුම්කර නිකුත් කරන විට අදාළ ගිවිසුමට "සාමූහික කැමැත්ත පිළිබඳ වගන්ති" ඇතුළත්ව තිබිය යුතුයි. දෙවනුව, එම වගන්ති වල සඳහන් අවම ප්‍රතිශතය ඉක්මවන ණයහිමියන් පිරිසක් ස්වේච්ඡාවෙන් බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කළ යුතුයි. 

ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ස්වෛරිත්ව බැඳුම්කර සියල්ලටම සාමූහික කැමැත්ත පිළිබඳ වගන්ති ඇතුළත්ව ඇත්ද යන්න පැහැදිලි නැහැ. එය එසේ නොවිය හැකියි. එය එසේ නොවුවද, දැන් ඒ සම්බන්ධව කළ හැකි දෙයක් නැහැ. කෙසේ වුවත්, ස්වෛරිත්ව බැඳුම්කර සියල්ලටම නොවේනම් ඒවායින් කොටසකට හෝ මෙවැනි වගන්ති ඇතුළත්ව තිබෙනවා. ඒ අනුව, බැහැර වීමේ අවදානමෙන් බැහැර වීම සඳහා ණයහිමියන්ගෙන් කිසියම් නිශ්චිත අවම ප්‍රතිශතයක් (උදාහරණයක් ලෙස 75%ක් හෝ 66.6%ක්) ස්වේච්ඡා ණය හුවමාරුවක් සඳහා අයදුම් කළ යුතුයි.

මෙසේ ණයහිමියන් සැලකිය යුතු පිරිසක් ස්වේච්ඡා ණය හුවමාරුවකට පොළඹවා ගැනීම අසීරු වැඩක්. ගාස්තුවක් ගෙවීමේ පොරොන්දුව මත ගනුදෙනු කළමනාකරුවන් බඳවා ගන්නේ මේ කටයුත්ත කිරීමටයි. ඔවුන් ඒ සඳහා අයදුම් කිරීමේදී මේ සඳහා වන තමන්ගේ යෝජනා ඉදිරිපත් කළ යුතුයි.

ගනුදෙනු කළමනාකරුවෙකු ලෙස අයදුම්කරන අයෙකුට එය කරන විදිහ පිළිබඳ තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙනවා. දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර වලට සාපේක්ෂව එම බැඳුම්කර වල කල් පිරෙන කාලය කොයි තරම් දිගද? කූපන් පොලී හා මුහුණත අගය කොයි තරම් අඩුද? 

ඇතැම් පාර්ශ්ව විසින් තමන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකා රජයෙන් මේ පිළිබඳව විමසා තිබෙනවා. එහෙත්, ශ්‍රී ලංකා රජයේ පිළිතුර වී තිබෙන්නේ තවමත් මේ දේවල් සම්බන්ධව අවසන් තීරණයකට පැමිණ නැති බවයි. එවැනි තීරණයකට පැමිණි වහාම වැඩි විස්තර දැනුම් දෙන බවද සඳහන් කර තිබෙනවා. කෙසේ වුවද, මෙම තොරතුරු ඉතා ඉක්මණින් දැනගන්නට ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

දැනට වාර්තා වී ඇති පරිදි, අවසන් තීරණය නොවිය හැකි වුවත්, ද්විපාර්ශ්වීය ණය ආපසු ගෙවීමේ කාලය 2028-2042 දක්වා දිගු කිරීමටද, වාර්ෂික පොලී අනුපාතිකය 2%කට සීමා කිරීමටද තීරණය කර තිබෙනවා. මෙය, මගේ අදහස අනුව, මුදලේ කාල වටිනාකම සැලකූ විට 20%ක පමණ ණය කප්පාදුවකට සමාන විය හැකියි. ඒ නිසා, ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් වෙතද බොහෝ විට ඊට කිට්ටුවෙන් යන යෝජනාවක් ඉදිරිපත් කරන්නට ඉඩ තිබෙනවා. 

ඔවුන්ට විකල්ප තේරීම් කිහිපයක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස මුහුණත අගය අඩු කර ඉක්මණින් ණය ආපසු ගෙවීමක් සහ මුහුණත අගය අඩු නොකර පරිණත කාලය දිගු කිරීමක් විකල්ප අතර තියෙන්න පුළුවන්. 

ශ්‍රී ලංකාව විසින් 2019 ජූනි 28 දින නිකුත් කළ, 2030 මාර්තු 30 දින කල් පිරෙන ස්වෛරිත්ව බැඳුම්කරය ද්වීතියික වෙළඳපොළෙහි විකිණිය හැකි ඵලදා අනුපාතිකය මේ වන විට 9.281% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. මාස 17කට පෙර (2022 නොවැම්බර් මාසයේදී) මෙම ඵලදා අනුපාතිකය පැවතුණේ 48.569% තරම් ඉහළ මට්ටමකයි. එම කාලය තුළ, ඩොලර් 100ක මුහුණත අගයක විකිණිය හැකි මිල ඩොලර් 21.211 සිට ඩොලර් 58.273 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මෙයින් පෙනෙන්නේ දැනටමත් ස්වෛරිත්ව බැඳුම්කර වෙළඳපොළ සක්‍රිය වී බැඳුම්කර සඳහා සැලකිය යුතු ඉල්ලුමක් ඇති වී ඇති බව සහ ලොකු ණය කප්පාදුවක් වෙළඳපොල විසින් අපේක්ෂා නොකරන බවයි.

මේ වන විට ජාත්‍යන්තර ආයෝජකයින්ගේ අවධානය ලංකාවේ රුපියල් බැඳුම්කර වෙත යොමු වී ඇති බව බ්ලූම්බර්ග් වාර්තා කරනවා. මෙයට හේතුව විදේශ ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කෙරෙද්දී කෙටිකාලීනව රුපියල අධිප්‍රමාණය වීම හේතුවෙන්, භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදා අනුපාතිකයද ඉක්මවන ප්රතිලාභ අනුපාතිකයක් ඔවුන්ට ලබා ගත හැකි වීමයි.

Wednesday, April 10, 2024

ඩොලරය බැහැලා ඉවරද?


මහ බැංකුව විසින් මාර්තු මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 715.1ක් මිල දී ගෙන තිබෙනවා. මෙය ඉතිහාසයේදී මහ බැංකුව විසින් මාසයක් තුළ මිල දී ගත් වැඩිම ඩොලර් ප්‍රමාණය විය යුතුයි. 

පසුගිය (2023) වසර අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 4,392ක විදේශ සංචිත තිබුණත් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 6,081ක විදේශ ණය ගෙවිය යුතුව තිබුණා, මේ අතර වෙනස ඩොලර් මිලියන 1,688ක්.

මෙම වසර තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,200ක් මිල දී ගෙන තිබෙනවා.

ජනවාරි - ඩොලර් මිලියන 245.3

පෙබරවාරි - ඩොලර් මිලියන 239.5

මාර්තු - ඩොලර් මිලියන 715.1

එකතුව - ඩොලර් මිලියන 1199.9

මේ අනුව, මාර්තු අවසාන වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,592 දක්වා වැඩි විය යුතු වුවත් ඇත්තටම වැඩි වී තිබෙන්නේ ඩොලර් මිලියන 4,951 දක්වා පමණයි. ඒ අනුව, මෙම ගණන් දෙක අතර වෙනස වන ඩොලර් මිලියන 641 හෝ ඊට ආසන්න මුදලක් මහ බැංකුවේ ණය ගෙවීම සඳහා යොදවා ඇති බව පැහැදිලියි.

ඉහත ප්‍රමාණයට සමාන ණය මුදලක් මහ බැංකුව විසින් ආපසු ගෙව්වේනම් මේ වන විට මහ බැංකුවේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,440 දක්වාත් ශුද්ධ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 488 දක්වාත් අඩු වී තිබිය යුතුයි. IMF තෙවන වාරිකයද ලැබෙන නිසා, එම අඩුවද මේ (2024 අප්‍රේල්) මාසය තුළ ආවරණය වනු ඇතැයි සිතිය හැකියි.

රජය විසින් මෙම වසර අවසන් වන තුරු වාහන ආනයනයට ඉඩ දෙන බවක් පෙනෙන්නට නැහැ. මෙය දේශපාලනික තීරණයක්. දේශපාලන තීරණ බොහෝ විට හසුරුවනු ලබන්නේ ජනමතය විසිනුයි.

ආර්ථික අර්බුදය අවස්ථාවේ උද්ධමනය 70% මට්ටමට ගියත් ඉන් පසුව 5% සීමාවෙන්ද පහළට වැටුණා. මේ හේතුවෙන් ජනමතයේ යම් වෙනසක් සිදුවුවත්, විශාල වෙනසක් සිදු වූයේ නැහැ. බොහෝ දෙනෙකුගේ චෝදනාව හා කණස්සල්ලට හේතුව වූයේ උද්ධමනය අඩු වුවද ඉහළ ගිය බඩු මිල අඩු නොවීමයි. 

උද්ධමනය ඉහළ යද්දී යම් පිරිසකගේ, විශේෂයෙන්ම භාණ්ඩ හෝ සේවාවන් නිපදවන අයගේ, ආදායම්ද ඉහළ යනවා. උද්ධමනය අඩු වූ විට එම ආදායම්ද එසේ ඉහළ ගිය මට්ටමෙන් පහළට වැටෙන්නේ නැහැ. එහෙත්, බඩු මිල අඩු වුවහොත්, විශේෂයෙන්ම රටේ නිපදවන බඩු වල මිල අඩු වුනොත්, භාණ්ඩ හෝ සේවාවන් නිපදවන අයගේ ආදායම්ද පහත වැටෙනවා. 

උද්ධමනය අඩු වුවද ඉහළ ගිය බඩු මිල අඩු වී නැති බව චෝදනාවක් සේ ඉදිරිපත් කරන්නේ මාසික වැටුප් ලබා ගන්නා අයයි. ඔවුන්ගේ වැටුප් උද්ධමනයට අනුරූපව ඉහළ ගියේ නැහැ. ඊට අමතරව ඒ අතරින් වැඩි වැටුප් ලබන අයට බදු ලෙසද වැඩි මුදලක් ගෙවන්නට සිදු වී තිබෙනවා. මෙම පිරිස රටේ ජනමතය හසුරුවන, දේශපාලන බලයක් ඇති පිරිසක්. ඒ නිසා, දේශපාලනය හරහා ප්‍රායෝගිකව ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු වෙනවා. 

ඩොලරයක මිල පහත වැටෙන්නට සැලැස්වීමෙන් ආනයනික බඩු මිල පහත දැමිය හැකියි. වාහන ආනයනය කල් දැමීමෙන් ඩොලරයක මිල දිගින් දිගටම පහත වැටෙන්නට ඉඩ සැලැස්විය හැකියි. මහ බැංකුව විසින් ඩොලර් මිලියන 715.1ක අති විශාල විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමෙන් පසුවද මාර්තු මාසය තුළ ඩොලරයක මිල රුපියල් 9කින් පමණ පහත වැටී තිබෙනවා. 

විශාල ලෙස ඉහළ ගොස් ඇති සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ ඉදිරි මාස වලදීද ඒ ආකාරයෙන්ම ගලා නොඒමට හේතුවක් නැහැ. ඒ නිසා, වාහන ආනයනයට ඉඩ දෙන තුරු ඩොලරයේ ගමන පල්ලමටම තමයි. මෙය ආණ්ඩුවට දේශපාලනික ලෙසද වාසිදායක නිසා මැතිවරණ පැවැත්වෙන තුරු ඔය ප්‍රවණතාව වෙනස් නොවෙන්න පුළුවන්.

වෙබ් ලිපිනය: